කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

අපට නොපෙණෙන ලෝකයෙන් අපට කෙරෙන පලපෑම්

දකුණේ ගමක් බියපත් කළ හොල්මන සොයන්න ගිය ගමනක්

කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ මෙම හොල්මන සිටින බව ගැමියෝ කියති. අතීතයේ සිට බෙදුම් ඇළ වංගුව ලෙස හැඳින් වූ ස්ථානය අද වන විට යකා ඇළ වංගුව ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ අදෘශ්‍යමාන සිද්ධියත් සමගය.
මාතර නගරයට නුදුරින් පිහිටි ඓතිහාසික වෙහෙරහේන සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ මෙම මාර්ගයේය. එහි සිට කිලෝ මීටර් පහක පමණ දුරක් ගිය පසු බණ්ඩාරනායකපුර ගම්මානය හමු වෙයි.
මුළු ගමම අද කතා කරන්නේ එකම මාතෘකාවක් ගැනය. බෙදුම් ඇළ වංගුවේ හොල්මන ගැන කතා කරන නිවසක් කඩ පොළක් මංසන්ධියක් නොමැති තරම්ය. එම ගමට පමණක් සීමා වූ මෙම හොල්මන් සිද්ධිය මේ වන විට මුළු රටේම ආන්දෝලනයක් ඇතිකර තිබේ.
එම නිසාම ඒ ගැන සෙවීමට ඉකුත් 05 වැනි දින රාති‍්‍ර මා බණ්ඩාරනායකපුර ගම් පියස වෙත පිටත්ව ගියෙමි. මාතර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන මාගේ මිතුරෙකු වූ යූ.එම්. මාධව දසුන්ද මේ ගමනට එකතු විය. මාධවගේ ගම් ප‍්‍රදේශය බණ්ඩාරනායකපුර හෙයින් ඒ සඳහා මා ඔහු තෝරා ගත්තෙමි.
රාති‍්‍ර 7.00ට පමණ ගොස් පළමුව අප ගම පුරා ඇවිද්දෙමු. සියලූ දෙනා කතා බහ කරන්නේ හොල්මන් සිද්ධිය ගැනය. අරයා දැක්කලූ, මෙයා දැක්කලූ, හොල්මනකට බය වෙලාලූ, එවැනි කරුණුය.
ඊට අමතරව බොහෝ දෙනෙකු රාති‍්‍ර ගමන් බිමන් යාම අඩු කර තිබේ. වෙනදා මංසන්ධි අසල රෑ බොවන තෙක් ගත කරන තරුණයින් අද වන විට පෙනෙන්නට නොමැත. බිරින්දෑවරු සිය සැමියන් සවස 6.00 න් පසු නිවසින් බැහැරව යාමට නොදී සිටින්නේ ඔවුන්ට ඇති ආදරය නිසාවෙනි. ගම්මානයේ පදිංචි වැඩි දෙනෙකු වෙනදා මෙන් නොව රාති‍්‍ර ආහාර වේල වේලාසනින් සකස් කොට දොර ජනෙල් වසා කාබී කල් ඇතිව නින්දට යාම පුරුද්දක් කරගෙන තිබේ.
ඇල්ලකන්ද වැවේ සිට ගලාගෙන එන ජලය එකම ස්ථානයකින් ඇළ මාර්ග තුනකට බෙදී ගලා යාම නිසා තුන්මෝදර බෙදුම් ඇළ ලෙස හඳුන්වති. ඊට සම්බන්ධව ප‍්‍රධාන මාර්ගයේ පිහිටි වංගුව බෙදුම් ඇළ වංගුව ලෙස හඳුන්වනු ලබයි. ඈත අතීතයේ සිට තොවිල් පවත්වා අවසානයේ පිදේනි තටු එම ස්ථානය වෙත ගෙනවිත් තැබීම ගම්වාසීන්ට අලූත් අත්දැකීමක් නොවේ. එසේ තටු ගෙනවිත් තබා බෙර ගැසීම හා දුම්මල ගැසීම ද සම්ප‍්‍රදායක් ලෙස සිදු කරන්නකි. තොවිලය පවත්වන නිවස තුළ කපන ලද දෙහි, බෙදුම් ඇළට ගෙනවිත් දැමීමද අරුමයක් නොවේ. එම නිසා ගැමියන් එම කටයුතු ගණන් ගෙන නොසිටියහ.
එහෙත් දැනට මාස කිහිපයක සිට එම ස්ථානය අසල රාති‍්‍ර කාලයේ කාන්තා රුවක් පෙනෙන්ට පටන් ගැනීමත් සමග මෙම භීතිය හා ත‍්‍රාසය හටගෙන තිබේ. ගමේ පදිංචි ආරක්ෂක අංශයේ සාමාජිකයින් දෙදෙනෙකුද එම අත්දැකීමට මුහුණ දී තිබීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. එබැවින් මෙම හොල්මන් සිද්ධිය එක පයින් බැහැර කළ නොහැක්කකි.
ජේ. කොඩිකාර (49) මහතා බණ්ඩාරනායකපුර ගම්වාසීන් අතර වැදගත් චරිතයකි. ඔහු ප‍්‍රදේශය තුළ ගෞරවාන්විතව ජීවත් වන අයෙකි.
කොඩිකාර මහතා හොල්මනකට බය වී ඇති බව පසුගිය දිනවල ගම පුරා පැතිර ගිය ආරංචියකි. ඔහු කිහිප දෙනෙකුට තමා මුහුණදුන් අත්දැකීම පැහැදිලි කර දුන්නද එය පැතිර යාමත් සමග හිසරදයක් බවට පත්විය. ඔහු නිවසින් එළියට බසිනවාත් සමගම බොහෝ දෙනෙකු අදාළ සිද්ධිය ගැන විමසති. එය කොඩිකාර මහතාට පමණක් නොව ඔහුගේ බිරිඳ හා දරුවන්ටද වධයක් විය. හොල්මන් සිද්ධිය ගැන කීම හැර වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවීය.
මේ නිසා ”මම හොල්මනක් දැක්කේ නැහැ” යයිද ඔහු ඇතැම් අයට කීය. මා සමග ගිය මාධව මිතුරා කොඩිකාර මහතාගේ හිතවතෙකි. මාධ්‍යයට තොරතුරු ලබාදීම තම ඉදිරි කටයුතුවලට බාධාවක් වන නිසා පළමුව මාගේ යෝජනාවට යම් අකමැත්තක් ඔහු ප‍්‍රකාශ කළද පසුව මාධවගේ ඉල්ලීම කොඩිකාර මහතාට බැහැර කළ නොහැක්කක් විය.
ඔහු සිය ත‍්‍රාසජනක අත්දැකීම පිළිබඳව මෙසේ විස්තර කළේය.
”මම රැකියාව කරන්නේ ගාල්ලේ. උදෑසන 5.10ට වෙහෙරහේන පාරෙන් යන බසයක තමයි රැකියාවට යන්නේ. ඒත් දැනට මාසයකට පමණ පෙර නිවසේ සිට කොන්ක‍්‍රීට් පාර දිගේ මම වෙහෙරහේන පාරට ගියා. සුපුරුදු බසය නොපැමිණි නිසා කැකණදුර මංසන්ධියට ගොස් යටියන පාරේ බසයක යන්න තීරණය කළා.
ප‍්‍රධාන පාරේ විදුලි ආලෝකය නොමැති කළුවර තැනකදී සුදු පැහැති සායක් හා හැට්ටයක් හැඳගත් කාන්තාවක් මා ඉදිරියට ආවා. ඇගේ වයස අවුරුදු හතළිහක් පමණ ඇති. ”මහත්තයා බස් එක අද කලිං ගිහින්. මමත් හංදියට යනවා” කියා ඇය මා පසුපසින් පැමිණියා. ”මට උදේ පාන්දරම වැඩට යන්න තියෙනවා. සැමියාගේ තුනටියෙන් පහළ පණ නැහැ. එක තැන ඉන්නේ. දියණියන් තිදෙනෙකු සිටිනවා. ඔවුන් පාසල් යවන්නේ අමාරුවෙන්. මම හම්බ කරලයි පවුලම ජීවත් කරවන්නේ. ගම දෙයියන්දර” බවද ඇය මා හට කියාගෙන කියාගෙන ගියා.
ඒ හැම වචනයකටම මම හා ඇත්තද? හ්ම් හ්ම් කියමින් සවන් දුන්නා. ඒත් මට කල්පනා වුණා මෙච්චර විස්තර ඇයි මට කියන්නේ කියලා. ඒ විදියට ඉදිරියට යද්දී මගේ සෙවනැල්ලට වඩා විශාල සෙවනැල්ලක් ඉදිරියෙන් ගමන් කරනවා දැක්කා. ඒ මට පිටුපසින් පැමිණෙන කාන්තාවගේ බවත් පෙණුනා. ඒත් ඒ සෙවනැල්ල විශාලයි. මට ලොකු අමුත්තක් දැනුනා. මගේ පිටුපසින් අවතාරයක් වගේ දෙයක් එනවා වාගේ පෙණුනා. මම අඩි ගමන ඉක්මන් කළා. ඒ වගේ වෙලාවකදී පිටුපස බැලීම හොඳ නැහැ කියා පොත පත ආශ‍්‍රයෙන් කියවා තිබූ නිසා මම එක ඇසකින් පිටුපස අන්තය බලන්න උත්සාහ කළා. එවිට මා සමග කතා කරමින් පැමිණි කාන්තාවගේ සාය විශාල වී එහි වාටිය මගේ කරට උඩින් කනේ ගෑවෙන නොගෑවෙන ගානට තිබුණා.
මම ඉක්මනින් කැකණදුර හංදියේ බස් නැවතුම්පොළ වෙත දුව ගියා. ඒ ගිහින් වෙහෙරහේන පාර දිහා බැලූවත් කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මිනිත්තු පහක් පමණ ඒ දෙසම බලාගෙන ඉන්න විට බසයකට නගින්න තවත් පුද්ගලයෙකු එම මාර්ගයෙන් පැමිණියා. මම ඔහුගෙන් ඇහුවා පාරෙදි කවුරුවත් හමුවුනාද කියලා. ඔහු කීවා. මමත් තුනේ කණුව අසල ඉඳලා ආවේ. කවුරුවත් දැක්කේ නැහැ කියලා. මට සිදු වූ දෙය ඔහුට නොකියා මම කීවා. කවුරු හරි සැක කටයුතු කෙනෙක් පාරේ ඉන්නවා දැක්කා කියලා.
ඉන්පසු මම වැඩට ගිහින් සවස ගෙදර ඇවිත් උදෑසන සිද්ධිය බිරිඳට කීවා. සති දෙකකින් පමණ පසුව හිතවතෙකුගේ ගෙදර ගියාම ඔවුන් උදෑසන 3.00 බස් එකේ කොළඹ යන්න සැලසුම් කර තිබුණා. මට සිදු වූ සිද්ධිය ඔවුන්ට පවසා ඒ වේලාවට නොයන ලෙස දැනුම් දුන්නා. ඉන් පසු මේ ආරංචිය ගම පුරා පැතිර ගියා. මම වගේ තවත් අය මේ හොල්මන දැකලා තිබෙනවා කියලා දැනගත්තා.
මම හොල්මන් හා අවතාර විශ්වාස කරනවා. ඒත් හිතේ ලොකු ශක්තියක් තිබුණ නිසා හානියක් සිදු වුණේ නැහැ. ඒ වනවිට අතේ පිරිත් නූලක්ද ගැට ගසා තිබුණා. සිද්ධියෙන් පසු කවුරුත් ඒ ගැන අහන්න පටන් ගත් නිසා මම පිරිත් නූලත් ගලවා දැමුවා. මම හිතනවා මැරිච්ච කෙනෙකු හෝ දිෂ්ඨියක් හෝ ඒ විදියට එන්න ඇති කියලා. මට කියපු තොරතුරු අනුව එවැනි කාන්තාවක් ගමේ පදිංචිව ඉන්නවාදැයි සොයා බැලූවත් මේ දක්වා හමු වුණේ නැහැ. ඒ නිසා මෙය කිසියම් අද්භූත බලවේගයක් බව සිතනවා.”
මේ අතර මෙම හොල්මන් සිද්ධියත් සමග ගමේ පදිංචි කිහිප දෙනෙකු විවිධ අනතුරුවලටද ලක්වී තිබුණි. ඇතැම්හු වාහන පෙරළා ගත්හ. තවත් අය ඇළට වැටිණි. වාහනයේ එන්ජිම බෙදුම් ඇළ වංගුව අසලදී කි‍්‍රයා විරහිත වී නතර වූ අයද සිටිති.
විශ‍්‍රාමික යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු වූ අනුර පල්ලියගුරු (51) මහතාද එසේ අනතුරට ලක්ව තුවාල ලැබූ අයෙකි.
තමාට සිදු වූ දෙය පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය.
බයිසිකල් පදින විට කන්දකින් පහළට ඇද වැටී අවුරුදු දහයක් වයසැති දැරියක් මිය යාමේ මළ ගෙදරට සහභාගි වීම සඳහා මම මාකාවිටට ගොස් සිටියා. ඒ අසල නිවසක මාගේ මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් ද පානය කළා. ඒ සඳහා අවශ්‍ය කටගැස්ම මා සාදා දුන්නා. රාති‍්‍ර 12.00 විතර මම තනිවම ගෙදර එන්න පිටත් වුණා.
අතරමගදී මා පදවන යතුරු පැදියේ පිටුපසට කවුරුන් හෝ ගොඩවී ගමන් කරන බව මට දැනුනා. බයිසිකලයේ බර ගතියකුත් තිබුණා. කවුරුන් හෝ වාඩි වී එන බව මට හොඳට මතකයි. හරියටම බෙදුම් ඇළ වංගුව අසලදී බසිසිකලයේ හැඩලය පාලනය කරගන්න මට බැරි වුණා. ඒ නිසා බෙදුම් ඇළට විසිවී ගොස් ඇද වැටුනා.
බොහොම අමාරුවෙන් ඇළෙන් ගොඩට පැමිණ නිවසට ආවා. මට තනිවම යතුරු පැදිය ගන්න බැරි වුනා. මගේ හිසට තුවාලත් සිදුවී තිබුණා. ගෙදර ඇවිත් බිරිඳට කියා තිබුනේ මළ ගෙදර ගිහින් එද්දී ඇළට වැටුණා. මා එක්ක බයික් එකේ පිටුපස වාඩි වී තවත් අයෙකු ආවා. ඇළට වැටුණු පසු ඔහුට කුමක් වූවාද නොදන්නා බවයි. ඉන් පසුව බිරිඳ හා අසල්වාසීන් එක්ව බෙදුම් ඇළට ගොස් මා කියන ලද පුද්ගලයා යතුරු පැදියට යට වී සිටිනවාදැයි සොයා බැලූවත් එවැනි අයෙකු හමු වුණේ නැහැ. ඔවුන් යතුරු පැදියත් ගොඩට ගෙන තිබුණා. එයට කිසිම අලාභයක් සිදුවී නැහැ. හරි පුදුමත් හිතුණා. බයික් එක පිටුපස වාඩිවී පැමිණි කෙනා අදෘශ්‍යමාන බලවේගයක් බව පසුව අවබෝධ වුණා.”
මෙම හොල්මන දුටු බව කියන උළුවඩුගේ සඳුන් (42) මහතා මෙසේ කීය.
”මම රැකියාව ලෙස ගස් බිස්නස් කරනවා. දැනට මාස දෙකකට විතර කලින් කපන ලද නිදහස් දැව තොගයක් යාළුවෙකුගේ ගෙවත්තේ දමා ට‍්‍රැක්ටරයද එහි නවතා තනිවම ගෙදර යන්න ආවා. ඒ වනවිට වේලාව රාති‍්‍ර 11.00 පමණ ඇති. බෙදුම් ඇළ අසලදී මගේ පිටුපසින් කළුවට කවුදෝ එනවා දැක්කා. මම ඉක්මනින් ගමන් කළා. ගෙදර කිට්ටුවට ගිහින් බිරිඳට කතා කළා. ඇය දොරකඩ ළඟට ඇවිත් මගෙන් ඇහුවා කවුද පිටුපස්සෙන් එන්නේ කියලා. මම කීවා දන්නේ නැහැ කියලා. කොහොම හරි කළුවට පිටුපසින් ආපු කෙනා මගේ බිරිඳටත් පෙනී තිබෙනවා. මේ සිද්ධියත් එක්ක මමත් ටිකක් බය වුණා.”
බෙදුම් ඇළ වංගුව අසල වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වූ අරුණ විජේසිංහ (40) මහතා මෙසේ කීය.
”මගේ ඇස් දෙකට නම් ඔය කියන හොල්මන පෙනිලා නැහැ. ඒත් දැකපු අය ගොඩක් ඇවිත් මෙතන කියවනවා. අලූයම 3.00 විතර කොළඹ යන්න ගිය පෙදරේරුවෙකුත් එය දැකලා තිබෙනවා. සුදු පාට ඇඳුමක් ඇඳගෙන අත් බෑගයක් කරේ දමා ගත් කාන්තාවක් ඔහුට පෙනිලා තිබෙනවා. කැකණදුර හංදිය දක්වාම ඇය ඔහුගේ පිටුපසින් ගොස් එක්වරම නොපෙනී ගොස් තිබෙනවා.
ඒ වගේම නාවික හමුදා නිලධාරියෙකුත් එම හොල්මන දැක තිබෙනවා. ඔහුගේ පසුපසිනුත් ඔය කියන කාන්තාව ඇවිත් තියෙනවා. ගෙවල් දෙයියන්දර හොරපාවිට බවත්, සැමියා රිය අනතුරකට ලක්ව ඔත්පලව සිටින බවත් ප‍්‍රකාශ කර තිබෙනවා. කොහොම හරි ඔහු සමග ටික දුරක් ගොස් දැන් වැඩට යන්න බැහැ පරක්කු වෙලා කියලා හොල්මන ආපසු හැරී තිබෙනවා.
කොහොම හරි ඔය කියන හොල්මන බලන්න මමත් රාති‍්‍ර කිහිප විටක් බෙදුම් ඇළ වංගුව අසලට ගියා. ඒත් කිසිම හොල්මනක් දැක්කේ නැහැ. මේ දිනවල වහින නිසා වැස්සට හොල්මන් පේන්නේ නැහැ කියලත් කතාවක් තිබෙනවා. ඒ නිසාද කියලා හරියටම කියන්න දන්නේ නැහැ.”
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.කේ. අකලංක (15) සිසුවා මෙම හොල්මන දැක ඇත්තේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඡුායාරූප දෙකකිනි. ඔහු මෙසේ කීය.
මම තවත් යාලූවෙකු සමග රාති‍්‍ර 7.00 විතර බෙදුම් ඇළ වංගුව අසලට ගියා. හොල්මනක් දැක්කේ නැහැ. ඒත් ජංගම දුරකතනය රැගෙන ගිය නිසා බෙදුම් ඇළේ ඡායාරූප කිහිපයක් ගත්තා. එවිට ඡායාරුප දෙකක ඇට සැකිලි පේන්න තිබුණා. එක ඇට සැකිල්ලක් බෝක්කුව උඩ වාඩිවී සිටියා. අනෙක ඇවිදිමින් සිටියා.
මම ගෙදර ඇවිත් ඒ ඡායාරූප දෙක තාත්තට පෙන්නුවා. රෑට නින්දෙදි බයවෙයි කියා තාත්තා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කීවා. ඒ අනුව මම ඒ ඡායාරූප දෙක කැමරාවෙන් ඉවත් කළා.”
එම සිසුවාගේ පියා වන පි‍්‍රයංග සංගපි‍්‍රය මහතා මෙසේ කීය.
මම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරනවා. ගෙදර ඉන්න විට පුතා ඇවිත් ජංගම දුරකතනයේ ඡායාරූප පෙන්නුවා. එහිදී දැක්කා බෙදුම් ඇළ වංගුව අසල ඇට සැකිලි දෙකක් පේන්න තිබෙනවා. ඒ ඡායාරූප ඒ තරම්ම පැහැදිලි නැහැ. යම්තම් බලාගන්න පුළුවන්. පුතා රෑට නින්දෙන් බයවෙන නිසා මම කීවා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කියලා. ඒ අනුව පුතා ජංගම දුරකතන කැමරාවෙන් ලබාගත් ඡායාරූප ඉවත් කර තිබෙනවා.”
බෙදුම් ඇළ අසලම පදිංචිකාරියක වූ අනුලා වික‍්‍රමාරච්චි (47) මහත්මිය මෙසේ කීවාය.
”ඒ ආසන්නයේ හිටියත් මට නම් තවම කිසිවක් පෙනිලා නැහැ. ඒත් හොල්මනට බය වී අපේ ගෙදරට දුවගෙන ආපු අය ඉන්නවා. කකුලක් නැති කාන්තාවක් දැක්කලූ. පස්සෙන් දුවගෙන ආවලූ. ඔය විදියට ගොඩක් දේ කියනවා. කොහොම නමුත් මේක අපිට ලොකු ප‍්‍රශ්නයක්. ඒ වගේම ගමේ ආරක්ෂාවට ලොතු තර්ජනයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේ නොමැති වුවහොත් රාති‍්‍ර කාලයේ මනුස්සයෙක් පේන්නවත් නැති නිසා හොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ රජදහනක් වේවි. ගමේ වැදගත් කිිිහිප දෙනෙක් මේ හොල්මන දැකලා තිබෙන නිසා බොරුය කියලා අහක දාන්නත් බැහැ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
මේ පිළිබඳව දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් විමසුවෙමි.
ඊට හේතුව පසුගිය කාලයේ හොල්මන් සිටිනවා යයි කියන බංගලාවක ඔහුද පදිංචි වී සිටි නිසාවෙනි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාගේ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ රසවත් කතන්දරයක්ද සමගිනි.
”මා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කාලයක් ගාල්ලේ රාජකාරි කළා. දවසක් මාත් එක්ක ජීප් එකෙන් යනවිට පොලිස් සැරයන් රියදුරු ආරියසේන කීවා සර් මේ අපිත් එක්ක වැඩ කරපු උප පොලිස් පරීක්ෂකවරයෙක් මැරිලා තියෙන්නේ. අනේ පව් කියලා. මරණ දැන්වීමකුත් පෙන්නුවා. මටත් ඔහු දැකලා පුරුදු නිසා ඒ ගැන දුක සිතුනා.
ඉන් දෙදිනකට පසු කාර්යාලයේ සිටින විට මිය ගිය බව කී උප පොලිස් පරීක්ෂකවරයා මට ඉදිරියෙන් සිටින බව පෙනුණා. මේ හොල්මනක් ද කියලත් සැක හිතුණා. කෝකටත් කියලා ආරක්ෂාවට පිස්තෝලයත් අතට ගත්තා. ටික වේලාවකින් පසු වෙනත් අංශයක් දෙසට යන්න ගියා. ඒ බව කාටවත් කීවේ නැහැ.
පසුදින පොලිස් සැරයන් රියදුරු ආරියසේනට කීවා. අර මැරිලා කීව එස්.අයි. මහත්තයා ඊයේ රෑ මම දැක්කා කියලා. එවිට ඔහු කිව්වා ඔව් සර් ඒ මනුස්සයා ජීවත් වෙනවා. යාළුවෝ විහිළුවකට මරණ දැන්වීමක් ගහලා කියලා.” ඒ නිසා හොල්මන් කියලා දෙයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මේක හිතේ ඇති වන දෙයක්. මීට පෙර මම හිටපු බංගලාවේ හොල්මන් තියෙනවා කියලා ගොඩක් අය කීවා. ඒත් මම දැකපු හොල්මනක් නැහැ.
මේ හොල්මන් සිද්ධිවලට නීතියෙන් දඬුවම් කරන්න හැකියාවක් නැහැ. නමුත් එම සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් ඊට එරෙහිව කි‍්‍රයා කරනවා. හොල්මන් සිද්ධි හරහා අපරාධ සිදු කරනවා නම් එය නීති විරෝධි කි‍්‍රයාවක් වෙනවා. කෙසේ වෙතත් දකුණු පළාතේ සෑම ගමකම සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙනවා. ඒ සාමාජිකයින්ට පුළුවන් රාති‍්‍ර සිදුවන මේ සිද්ධි ගැන සොයා බලා ගම්වාසීන් දැනුවත් කරන්න.”
කෙසේ වෙතත් මේ පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ජගත් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.
”හොල්මන් කියලා දෙයක් නැහැ. හොල්මන් ඉන්නවා හෝ තියෙනවා වගේ කියලා අපට පේන එක විතරයි වෙන්නේ. හොඳ ආලෝකය තියෙන තැනක මේවා පේන්නේ නෑනේ. පේ්න්නෙ අඳුරෙදි හෝ අඩ අඳුරෙදි විතරයි. ඒ වගේම හුදකලාව චකිතයකින් ඉන්න විටත් පේනවා. හිත ගැස්සිලා චකිතයෙන් ඉන්න විට හොල්මන් පේනවා.”
”මේවා වැඩිපුර පේන්නේ කුඹුරුවල, ගොරක ගස් යට, සොහොන් පිටිවල, ඇළ මාර්ග අසල, වංගුවල ආදී තැන්වල තමයි. හොල්මනක් කියා හිතාගෙන බලන විට එය පේනවා. මානසික රෝගීන්ටත් හොල්මන් පේනවා. පේන හොල්මන් මෙන්ම කතා කරන හොල්මන් පවා තිබෙනවා. එක් අයෙකු විතරක් නොව කණ්ඩායමකට වුණත් හොල්මන් දකින්න පුළුවන්. එතකොට හැමෝම කියනවා. අපිත් දැක්කා අපිත් දැක්කා කියලා. කාලයක් ග‍්‍රීස් යකා සිද්ධිය ආවෙත් එහෙමයි.”
”මේක හිතින් සිදුවන කි‍්‍රයාවලියක්. එය නීති විරෝධි වැඩ කරන අයට ලොකු පහසුවක් වෙනවා. මනස තමයි මේ සියල්ලට මූලික වෙන්නේ. කාටවත් හොල්මන් අල්ලන්න බැහැ. මේක මිථ්‍යා දෘෂ්ටියක් විතරයි.”
කෙසේ වෙතත් කැකණදුර බෙදුම් ඇළ වංගුව අසල සිටින හොල්මන අල්ලා ගැනීමට ඇතැම් දිනවල තරුණයින් කණ්ඩායම් වශයෙන් රැය පහන් වනතුරු සිටින බවද වාර්තා වේ. එහෙත් මේ දක්වා එම හොල්මන ඔවුන්ට අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.
මේ සිද්ධිය හරහා ඉදිරි කාලය තුළ නීති විරෝධී කටයුතුද සිදුවිය හැක. එම නිසා මෙම අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද යන්න සොයා බලා කටයුතු කිරීම වැදගත් වේ. හොල්මන සිටින තැන බව කියන ස්ථානයේ විදුලි ලාම්පුවක් සවි කිරීමටද මාතර ප‍්‍රාදේශීය සභාව කි‍්‍රයාකර ඇත්තේ ඒ නිසාවෙනි. එහෙත් එතැන සිට මීටර් දෙසීයක පමණ දුරක් මෙම හොල්මන ගමන් කරන බව ගැමියෝ කියති.
වේලාව රාති‍්‍ර 12.00 පමණ විය. මමත් මාධවත් බෙදුම් ඇළ වංගුව අසලට වී පැය කිහිපයක් ගත කළෙමු. එහෙත් අප දුටු හොල්මනක් නොමැත. නමුත් අප සිටිනවා දැක ඒ අසලටම පැමිණ ආපසු හැරී මාර්ගය දිගේ යන ඇතැම් අය දුටුවෙමු. අවස්ථා කිහිපයකදීම ඩිජිටල් කැමරාවෙන් හොල්මන සිටින බව කියන තැන ඡායාරුප ගත්තෙමි. ඒවායෙහි විවිධ දේ සටහන්ව තිබිණි. අවසානයේ අලූයම 2.00 පමණ මමත් මාධවත් කිසිදු කරදරයකින් තොරව බෙදුම් ඇළ වංගුව හෙවත් යකා ඇළ වංගුව අසලින් පිටත් වූයෙමු.
ඡායාරූප හා සටහන  -  මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
 2012 සැප්තැම්බර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 හොල්මන වාඩි වී සිටින බව කියන බෝක්කුව.
 හොල්මන යයි කියන ඡායාවක් ඩිජිටල් කැමරාවේ සටහන්ව තිබූ අයුරු.



පියාගේ ආත්මය දියණියට ආරූඪ වී  ඝාතනයේ රහස්‌ හෙළි කරයි


හරියටම මෙයට වසරකට පෙර සිදු වූ පියාගේ අභිරහස්‌ මරණය සියදිවි හානිකර ගැනීමක්‌ නොව මිනීමැරුමක්‌ බව ආරූඪයෙන් මෙන් කියන දියණියකගේ පුවතක්‌ මුල් වරට 'දිවයින' මගින් ඉකුත් සතියේ අනාවරණය කළෙමු. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු නවයක පමණ වන බාලම දියණිය පියාගේ අභිරහස්‌ මරණය සිදු වූ ආකාරය මෙසේ අනාවරණය කරන්නට වූයේ පියාගේ ආත්මය ඇගේ ඇඟට ආවේශ වීමෙනි. බටහිර විද්‍යාවට අනුව මෙවැනි කතා විශ්වාස කළ නොහැකි මිථ්‍යා මත ලෙස සැලකුවත් බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමනවලට හසු නොවන එයින් ඔප්පු කළ නොහැකි බොහෝ සංසිද්ධි මේ ලෝකයේ තිබේ. අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටි සමන්සිරි පීරිස්‌ගේ (පාලිත-42) මරණය සම්බන්ධයෙන් ඔහුගේම ආත්මය සිය දියණියටත් ඉන් පසුව බිරිඳටත් ආවේශ වී හෙළි කළ මතු දැක්‌වෙන තොරතුරු ද එසේ අසත්‍යම යෑයි කියා බැහැර කළ නොහැකි යෑයි අපට සිතෙන්නේ එකිනෙකට හේතුඵලවාදීව බැඳෙන සිද්ධි මාලාවක්‌ සියුම් ව මේ කතාව පුරා බැඳී පවතින බැවිනි. එබැවින් ඒ කතාව අපි මුල සිටම මෙසේ පෙළ ගස්‌වන්නෙමු.



මියගිය සමන්සිරි

අපි මියගිය සමන්සිරිගේ පවුලේ උදවිය සොයා කිසියම් ප්‍රදේශයකට ගියෙමු. ඔවුන් අපෙන් කළ මුල්ම ඉල්ලීම වූයේ තමන් සිටින ප්‍රදේශය හෝ ඔවුන්ගේ ඡායාරූප පළ නොකරන ලෙසය. සමන්සිරිගේ මිනීමරුවන්ගෙන් කොයි මොහොතක හෝ ජීවිත අනතුරක්‌ වෙතැයි ලද තොරතුරු මත ඔවුන් සිටින්නේ භිතියෙන් සැඟවීගෙනය. ඒ එකඟතාව මත සියල්ල නොසඟවා හෙළි කිරීමටත් ඔවුන් ඉදිරිපත් විය. මියගිය සමන්සිරිගේ බිරිඳ රතුකාත් (රංජනී) මුලින්ම පියාගේ ආත්මය (සමන්සිරිගෙ) ආවේශ වූ බාලම දියණියත් වැඩිමහල් දියණියත් දෙදෙනාත් ඒ අතර විය. අප ඔවුන් හමු වූ දිනය වන විට සමන්සිරිගේ ආත්මය දියණියගේ ශරීරයෙන් ඉවත්ව බිරිඳගේ ශරීරයට ආවේශ වන බව ඔවුන් කීවේය. එසේ වීමට හේතුව ලෙස සමන්සිරිගේ ආත්මය කියා ඇත්තේ දින පහක්‌ තමන් දියණියගේ ශරීරයට ඇතුළු වී සිටින විට ඇය නිරාහාරව සිට දුර්වල වීමත්, කුඩා දියණියක කියන තොරතුරු වැඩිහිටියන් තැකීමක්‌ නොකිරීමත් යන කාරණාය. මේ වන විට දියණියට ආරූඪයෙන් කියූ කිසිවක්‌ මතකයේ නැත. සියල්ල අප දැන ගත්තේ සමන්සිරිගේ බිරිඳ රතුකාගෙනි.

මහත්තයා (සමන්සිරි) මියගොස්‌ කොච්චර කල්ද?

ලබන මාසේ 25 වැනිදාට අවුරුද්දක්‌ වෙනවා.

මහත්තයා මැරෙනකොට ඔයාලා පදිංචි වෙලා හිටියෙ?

පානදුර කෙසෙල්වත්තේ. නොම්බර 30 ලිපිනයේ. ඒක මහත්තයලගෙ මහ ගෙදර. අපි බැන්දට පස්‌සේ ඉඳන්ම හිටියෙ එහෙ.

මහත්තයා කරපු රස්‌සාව මොකක්‌ද?

එයා පොහොර හදලා විකුණුව. අපිට නැතිබැරිකම් ගොඩක්‌ තිබුණා. ඒත් වැරදි වැඩක්‌ නොකර මහන්සියෙන් ඒ වගේ රස්‌සාවක්‌ කරල ජීවත් වෙනකොට ගොඩාක්‌ මිනිස්‌සු අපට උදව් කළා. මහත්තයා පොහොර විකුණුවෙ යමක්‌ කමක්‌ තියෙන ගෙවල් වලට. ඒ අය අපි ජීවත්වන දිහා බලල උදව් කළා.

මහත්තයා මැරෙනකොටත් ඔයාල හිටියෙ පානදුරේමද?

නෑ. එතකොට අපි මගෙ මහ ගෙදර බෙන්තර ඇවිත් හිටියෙ.

ඇයි ඒ?

ඒ වෙනකොට අපිට පානදුරේ මහ ගෙදර ඉන්න බැරි තත්ත්වයක්‌ තිබුණෙ. උන් අපට නොසෑහෙන්න කරදර කළා. ඒක ගමේ මිනිස්‌සු හැමෝම දන්නවා. කීප වතාවක්‌ම අපිව ගෙදරින් පන්න ගන්න තොවිල් කළා. එක වතාවක්‌ පාලිතට (සමන්සිරිට) මාව එපාවෙන්න දේවාල ගානේ ගිහින් එක එක දේවල් කරල තියෙනවා. ඒක හරි ගියේ නැති තැන මාව විනාශ කරන්න ගෙදර තොවිලයක්‌ කළා.

කාගෙ ගෙදරද?

මහත්තයගෙ මහ ගෙදරම අනෙක්‌ කෑල්ලෙ. ඒ ගෙදර අපෙත් එක්‌ක මහත්තයාගෙ තාත්තගෙ අනෙක්‌ කසාදෙ බාල පුතාගෙ පවුලත් පදිංචි වෙලා හිටියා. අපි හිටියෙ ගෙදර එක පැත්තක. එයාල ඒ ගෙදරම තවත් පැත්තක ජීවත් වුණා. පාලිතගෙ තාත්තට කසාද දෙකකින් ළමයි 11 ක්‌ හිටියා. ඒ හැමෝගෙන්ම බාලයා තමයි මගේ මහත්තයා 'පාලිත'. ගෙදර අනෙක්‌ පැත්තෙ හිටියෙ කරුණාසිරි පීරිස්‌. තොවිලෙ කළේ එහේ.

ඒ වගේ දෙයක්‌ කරන්න හේතුව?

කීප වතාවක්‌ම අපෙන් ගේ ඉල්ලල කරදර කළා. ගෙදරින් අයින් වෙන්න කීවා. රංඩු වුණා. ඒත් මහත්තයටත් අයිතියක්‌ තිබෙන නිසා අපි ගෙදරින් ගියේ නෑ. අනික ඒ ගෙදරට ලයිට්‌, වතුර ගත්තෙත් අපි. අපිට වෙන ගෙයක්‌ හදන්න පුළුවන් කමක්‌ තිබුණෙත් නෑ.

තොවිලෙ කළාම ඔයාලට ප්‍රශ්නයක්‌ ඇති වුණාද?

පළ වැනි තොවිලෙ අතරමඟදී කඩාකප්පල් වුණා. ඊට පස්‌සෙ දෙවැනි වතාවට ලොකු තොවිලයක්‌ කරනවා කියලා මට කලින්ම ආරංචි වුණා. එදා මගෙ නම කිය කිය කපුවා දෙස්‌ දෙවොල් තිබ්බා. අපි හැමෝටම ඇහුණා. ඒත් මම කාටවත් වරදක්‌ කරල නෑ කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. අපි සූනියම් දෙයිහාමුදුරුවන්ට පහන් තියනවා. කට්‌ටඬියා මගේ නම කියල දෙස්‌ කියද්දී මම එළියට ගිහින් සූනියම් දෙයිහාමුදුරුවන්ට පහන් තියල අපට කරන අසාධාරණය දෙවියන්ට කිව්වා. හරියටම මම වැඳගෙන ගාථාව කියන කොට කට්‌ටඬියට නවත්තගන්න බැරි කැස්‌සක්‌ ඇවිත් ඒ තොවිලෙත් එතැනින්ම ඉවර වුණා.

මහත්තයගෙ තාත්තාට කියල ඉඩම් ප්‍රශ්නෙ විසඳගන්න හිතුවෙ නැද්ද?

තාත්තා ජීවතුන් අතර නෑ. මුලදි අම්මා අපෙත් එක්‌ක හොඳින් හිටියා. ඒත් තුන්වෙනි දරුවා හම්බවුණාට පස්‌සෙ වෙනස්‌ වුණා. කරුණාගෙ පවුලෙ සහෝදරයො වැඩි නිසා මුළු ගේම එයාලට දීලා අපිට අයින් වෙන්න කියලයි එයත් කිව්වෙ.

ඒකද පානදුරෙන් බෙන්තර ගෙදරට යන්නෙ?

තුන්වෙනි වතාවටත් ලොකු තොවිලයක්‌ කරනවා කියලා අපට ආරංචි වුණා. මගේ ප්‍රාණයට ප්‍රාණයක්‌ බන්ධනය කරල තොවිලය කරනවා කියල ගමේ අය කීවා. ටික දවසකට හරි ගෙදරින් ඈත් වෙලා ඉන්න කියල ගමේ ගොඩක්‌ අය කීවා. අපි අන්තයට අසරණ වෙලා හිටියෙ... මමයි පාලිතයි දරුවො තුන් දෙනා අරන් බෙන්තර ආවා. 

එසේ කියා ඇය ඔළුවෙ අත තියා ඉඳගෙන සිටි පුටුවට තවත් බරවී දිගු සුසුමක්‌ පිට කළාය.

ඇය ඒ සියල්ල හෙළිකරන්නේ මහත් ආයාසයෙනි. සැමියාගෙ මතකය මෙන්ම විඳි වේදනාවල මතකය ඇගේ සිහියටවිත් රූරා වැටෙන කඳුළු මතින් පිටවෙනු අපි බලා සිටියෙමු. සැබවින්ම අපි කිසිවක්‌ නොඅසා ඇයට හඬන්නට ඉඩදී බලා සිටියෙමු. ඒ වේදනාව පිටවෙන්නට හැර බලා සිටියෙමු. ඇගේ දියණියන්ට මේ වේදනා නුහුරුවක්‌ සේ නොපෙනෙයි. එහෙත් මව හඬන විට බාල දියණිය අරමුණකින් තොරව බලාගෙන මවගේ හිස පිරිමැද්දාය. යළිත් ඇය නැවතු තැනින් කතාව පටන් ගත්තාය.

අපි බෙන්තර ඉන්නකොට පාලිත එදා රෑ පානදුර ගෙදරට වෙලා හොරෙන් තොවිලෙ කරන හැටි බලා හිටියා. එයාට සැකයක්‌ තිබුණා අපි ගෙදරට ඇතුළු වෙනතැන කට්‌ටඬියා මොනවා හරි වළලයි කියලා. ඒකයි එහෙම කළේ.

බෙන්තර ආවාම ළමයි ඉස්‌කෝලේ ගියේ නැද්ද?

ඉස්‌කෝලේ ගුරුවරු අපිට වෙන කරදර ගැන දැනන් හිටියා. මේ දරුවන්ගෙ යාළුවන්ගෙ අම්මලා ගුරුවරුන්ට අපිට වෙන කරදර ගැන කියල තිබුණා. ටික දවසකට ළමයි ඉස්‌කෝලේ එවන්නෙ නෑ කියලයි අපි බෙන්තර ආවේ.

බෙන්තර හිටිය නම් මහත්තයාගෙ මරණය පානදුරේ සිද්ධ වෙන්නෙ?

ටික දවසක්‌ බෙන්තර ඉඳල රස්‌සාවක්‌ නැතිව ජීවත් වෙන්න බැරි නිසා එයා අපිව බෙන්තර තියල පානදුරේ ගෙදර ආවා. ඒ ආව වෙලාවක දවසක්‌ ත්‍රිවිල් එකක ආව හතර දෙනෙක්‌ එයාව හප්පලා. ඒකත් කරලා තියෙන්නෙ එයාව මරන්න. ඒත් වම් කකුල කැඩිල පානදුර ඉස්‌පිරිතාලෙ ඉන්නවා කියලා මට ආරංචි වුණා. මම එයාව බලන්න ගියාම එයා මට බැන්නෙ තනියම ආවේ ඇයි කියලා. මට අනතුරක්‌ කරයි කියල එයා බයෙන් හිටියෙ. පස්‌සෙ මට මොනවහරි වෙයි කියල බයට ටිකට්‌ කපන්නෙවත් නැතිව මාව බස්‌ එකට දාන්න ඇවිත් එහෙමම මාත් එක්‌ක ගෙදර ආවා.

එහෙම ටික දවසක්‌ ඉඳල 2011 නොවැම්බර් 21 එයා ආයෙත් පානදුරේ ගියා. ගෙදර ටිකක්‌ අස්‌පස්‌ කරල අපිව ගෙන්න ගන්නවා කියලා එදා රෑත් කීප වතාවක්‌ම අපිට කෝල් කරා. ඒත් පහුවෙනිදා ඉඳන් අපිට කිසිම ආරංචියක්‌ ලැබුණේ නෑ. කොහෙද ඉන්නෙ කියල කෝල් කරාට ෆෝන් එක වැඩකරේ නෑ. ඊට පස්‌සෙ හිතවත් කෙනෙක්‌ කෝල් කරල කිව්වා මෙහෙම කෙනෙක්‌ මැරිලා ඉන්නවා රතුකා... ඔයාගෙ මහත්තයාද දන්නෙ නෑ. ඇවිත් බලන්න කියලා. දෙයියනෙ කාටවත් වරදක්‌ නොකළ එයා හරක්‌ මඩුවෙ සුදු රෙද්දකින් වහලා තිබුණා.

ඇය එසේ කියන විට කිහිප වරක්‌ම හැඬුවාය. ඉන්පසු තිර අදිටනින් ඇය මෙසේ කීවාය.

එයාගෙ මූණ බලන්න බැරි විදියට ඇස්‌ දෙක යටයි නලලයි එකම විදියට පුච්චල තිබුණෙ මහත්තයො.... පොඩි නූලකින් එයාව හරක්‌ මඩුවෙ එල්ලලා මරල තියෙන්නෙ.

පොලිසියට ගියේ නැද්ද?

පොලිසිය කිව්වෙ මහත්තයා හාමුදුරු නමකගෙ ෆෝන් එකක්‌ හොරෙන් අරන් ඒකෙ ලැඡ්ජාවට එල්ලිලා මැරිලා කියලා. ඒත් මම පොලිසියෙදි කෑ ගහල කිව්වා මහත්තයට ෆෝන් එකක්‌ හොරකන් කරන්න ඕන නෑ වැඩියෙනුත් ගෙදර ෆෝන් එකක්‌ තියනවා කියලා.

ඒ ෆෝන් එක අයිතියි කියන හාමුදුරුවො පොලිසියට ඇවිත් හිටියද?

නෑ. කවුරුත් ඇවිත් හිටියෙ නෑ. ඒත් අපරාධ අංශයෙ ස්‌ථානාධිපති (.......) මේ... මහත්තයා හොරකම් කරපු ෆෝන් එක ඔයා ගන්න කියලා මට බල කරා. ඒ වෙලාවෙ පොලිසියෙ හිටපු පාලිතගෙ (සැමියා) එකබඩවැල කඩාගෙන ආව සහෝදරයො සමච්චලේට හිනා වුණා.

මරණ පරීක්‍ෂණයට පස්‌සෙ සැකයක්‌ තිබුණා නම් කියන්න තිබුණනේ?

මට අතේ සතේ තිබුණෙ නෑ. මරණයෙ වැඩ කරන්නෙ කොහොමද කියල මම අවසිහියෙන් හිටියෙ. (ඇය යළිත් හඬා වැළපෙයි). අනික ඒ වෙලාවෙ මගේ ළඟ හිටිය පාලිතගෙ සහෝදරයෙක්‌ කිව්වා අක්‌කා මරණය සැකයි කියන්න එපා කියලා එහෙම වුණොත් බොඩි එක ගන්න හම්බවෙන්නෙ නෑ කියලා. එහෙම කිව්වොත් තනියම මරණයෙ වැඩ කටයුතු කරන්ඩ කියල එයාල බලපෑම් කළා. 

ඒත් මහත්තයා උන් ලෑස්‌ති වුණෙ ගෙදරට මිනිය ගන්නෙවත් නැතිව මල්ශාලාවෙම තියල වලලන්න. ගමේ මිනිස්‌සුන්ගෙ උදවු නිසයි මිනිය ගෙදරට ගන්න පුළුවන් වුණේ.

මුළින්ම පාලිතගෙ ආත්මය බාල දියණියට ආරූඪ වෙනව කියල දැනගත්තෙ?

ළඟදී දවසක දුවගෙ හැසිරීම හරි අමුතු වුණා. මට අම්මා කියන්නෙ නැතිව රතුකා කියල කතා කළා. මම චූටි දුව කියල කතා කළාම මම චූටි දුවක්‌ නෙවෙයි මම පාලිත කියල එයා (පාලිත) ඇඳපු ඇඳුම්, එයා ගෙනත් දුන්න සෙල්ලම් බඩු අතපත ගාන්න ගත්තා. එයාගෙ අම්මා ගෙනත් දුන්න සෙල්ලම් බඩුවක්‌ ඒ අතරෙ තියනවා දැකල ඒක කඩල විසික්‌ කළා. ඒ දවස්‌ පහම දුව මොනවත් හරියට කෑවෙ නෑ. පුළුවන් තරම් වතුර නම් බිව්වා. දුවගෙ ඇඟෙන් එයා අයින් වෙනකම්ම දවස්‌ පහක්‌ තිස්‌සෙ හැසිරුණෙ මහත්තයා විදියට. වෙන ඇඳුමක්‌ ඇඟට දාන්න බෑ. දවස්‌ පහම ඇඳන් හිටියෙ පාලිත ඇඳපු සරමයි කමිසයයි.

ඊට කලින් දුව මේ වගේ හැසිරීමක්‌ පෙන්නල නැද්ද?

නෑ. කොහොමත් මේ කතා කරන්නෙ පාලිතමයි කියල විශ්වාස කරන්න පුළුවන් තවත් දෙයක්‌ එයා කිව්වා. ඒ අපි මේ මරණයෙන් මාස තුනකට විතර පස්‌සෙ ඉඳුරුවෙ දේවාලයකට ගියා. ගේ ගැන බලන්ඩ ගියේ. එතන මළවුන් ගෙන්නනවා කිව්වාම, මම නිකමට බුලත් අතක්‌ තියල වාඩි වුණා. ටික වෙලාවක්‌ යනකොට කපු මහත්තයා පාලිත වගේ නොන්ඩි ගගහා ඇවිත් මම මැරුණෙ නෑ. මම මැරුණ හැටි දැන්ම එළිකරන්න බෑ. කවදා හරි මම ඒක එළිකරන්නම්. දැන් මම ඉන්නෙ අඳුරක. මට එතනින් එන්න පිට කරන්න කිව්වා. එයා කිව්වෙ එයා වෙනුවෙන් දානයක්‌ දෙන්න කියල.

ඇයි ඒ වෙනකොට තුන් මාසෙ දානෙ දීලා තිබුණෙ නැද්ද?

කලින් දුන්න දානවල පිං ලැබුන් නෑ කිව්වා. දානෙ දීලා ඒවාට ගිය වියදම ගැන එක එක්‌කෙනා කියවගෙන පසු තැවුණ නිසා පිං ලැබුන් නෑ කිව්වා.

ඉතින් පාලිත කිව්ව විදියට දානෙ දුන්නද?

ඔව්. ඒකට මගේ අතේ සල්ලි නෑ කිව්වාම දේවාලෙ කපු මහත්තයයි අනිත් අයයි මම ගැන අනුකම්පා කරල සල්ලි දුන්නා. ඒ දානෙ පිං අරගත්තට පස්‌සෙ එයා නයි ආත්මෙක ඉපදිලා.

ඒක කොහොමද දැනගත්තෙ?

දුවට ආරූඪ වුණ වෙලාවෙ පාලිත කෑ ගහල කිව්වා අනේ රතුකා උන් මාව දෙවැනි වතාවටත් මැරුවා කියලා. මම මොකක්‌ද කියල අහනකොට එයා කිව්වා දානෙ පිං ලැබුණාම නයි ආත්මයක්‌ හම්බ වුණාලු. ඊට පස්‌සෙ එයා කෙළින්ම (නයි පැටියා) ගිහින් තියෙන්නෙ මිනීමරුවෙක්‌ගෙ ගෙදර. ඒ ගෙදරට ගිය පාරත් කිව්වා. චූටි දුව තියා අපි කව්රුත් එහෙ ගිහින් නෑ. යන පාර දන්නෙත් නෑ. නයි පැටියා ඒ ගෙදරට ගිහින් මනුස්‌සයා එනකන් දවස්‌ එකහමාරක්‌ ඇඳ යටට වෙලා ඉඳලා තියෙනවා. ඒත් එදා මනුස්‌සයා ඇවිත් නෑ. පස්‌සෙ ගෙදර අයට අහුවෙලා නයි පැටියා මරලා තියෙනවා. ඒ කතාව මම හොඳටම විශ්වාස කරන්නේ මේ සිද්ධිය වුණ දවසෙ ගමේ කෙනෙක්‌ මට කෝල් කරල කිව්වා "රතුකා ඒ ගෙදරට නයෙක්‌ ඇවිත් තව ටිකෙන් මනුස්‌සයාට නයා ගහනවා කියලා". ඒකයි එයාව දෙවෙනි වතාවටත් මැරුවා කියලා කිව්වෙ.

දුව ආරූඪයෙන් එදා සිද්ධිය ගැන (මරණය) මොනවද කිව්වෙ?

බෙන්තරින් ගිය පහුවදා ගෙදර බඩු ගෙනත් දාලා පොහොර එකතු කරන්න මම හරක්‌ මඩුවට ගියා. හොඳටම වැස්‌ස. මම මැස්‌ස උඩ නිදන් හිටියා. එතනට ආව උන් හතර දෙනෙක්‌ මට ගේ ඉල්ලලා හොඳටම ගැහුවා. මගේ වම් අතත් කැඩුවා. රතුකා වුන් මගේ ඇස්‌ දෙක පුච්චන්න හැදුවා. මම හයියෙන් කෑ ගහනකොට මගෙ මූණ පිච්චුවා. දුව ආරූඪයෙන් අඬ අඬා දේවාලෙදි මේවා කියනකොට එතන හිටිය පිරිමි අය පවා ඇඬුවා.

මට හොඳටම ගහල ගහල උන් අරක්‌කු බෝතලයක්‌ ගෙනැල්ලා මගේ ඇඟේ හැලුවා. එහෙම කරේ මම බීලා එල්ලුණා කියල පෙන්නන්න. මාව මඩුවෙ එල්ලන වෙලේ මට දරුවො මතක්‌ වුණා. අන්තිමේ මම රතුකා කියල හයියෙන් කෑ ගැහුවා. ඒත් කවුරුත් මාව බේරගන්න අවෙ නෑ.

මේ තොරතුරු හෙළිකරගෙන යන අතරතුරේ කිහිප අවස්‌ථාවකදීම ඇය කුමක්‌දෝ මහත් අපහසුතාවයකින් පෙළෙන්නට වූවාය. එය තවත් මොහොතකින් දරුණු අතට හැරෙමින් ඇගේ මුළු සිරුරම දරදඬු වී යනු අපිදු බලා සිටියෙමු. ඒ සමගින් ඇය තමන්ගෙ ඔළුව, කොන්ද සහ දෙපා රිදුම්දෙන බව කියමින් වේදනාවෙන් හඬා වැලපුණාය. අපි සිදුවන දෙයින් වික්‍ෂිප්ත වී සිටියෙමු. ඇගේ දියණිය දෙහි ගෙඩි දෙකක්‌ මවගේ (රතුකාගේ) දෙඅතේ තබා පහන ළඟ තිබූ තෙල් බෝතලයක්‌ ගෙන "උදරේ නාග බන්දාමි නීsලොත්තුරඟ වාහනම්.... (මගේ මතකයේ ඇත්තේ මේ පද පමණි) යනුවෙන් මතුරමින් සූනියම් දේවතාවා වඳින ගාථාව කියා මවගේ ශරීරය පිරිමැද්දාය.

ඇයි මෙහෙම අමාරු වෙන්නෙ පාලිත ආරූඪ වෙලාද? අපි සිදුවන දේ ගැන දියණියගෙන් ඇසුවෙමු.

නෑ. තාත්තා ආරූඪ වෙලා නෙවෙයි. ඒ අය (පියාගේ මිනීමරුවන්) මේ වෙලාවෙත් අම්මව හිර කරල බන්දනයක්‌ කරනවා.

කොහොමද ඔයාල ඒක දන්නෙ?

ඊයෙ රෑ තාත්තා අම්මට ආරූඪ වුණාම ඒ අය අම්මවත් නැති කරන්න මෙහෙම දෙයක්‌ කරනවා, අපට පරිසම් වෙන්න කියලා කිව්වා. එයාලා ඒක කරන්නෙ දකුණු පැත්තෙ දිවුල් ගස්‌වලින් වටවුණු තැනක ඉඳන් කියලත් කිව්වා.

මේවගෙන් ආරක්‍ෂා වෙන්න ඔයාල මොනවත් කළාද?

අපේ කපු මහත්තයට පිං සිද්ධ වෙන්න තමයි මෙහෙම හරි ආරක්‍ෂා වෙලා ඉන්නෙ. මේවගෙන් හරියට බේරෙන්න අපිට මුන්නේෂ්වරම් යන්න ඕන. ඒත් එහෙට යන්නවත් අපට සල්ලි නෑ.

පාලිsතගේ ආත්මය මේ විදියට ඔයාලගෙ ශරීරයට ඇවිත් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

මිනීමරුවන්ට දඬුවම් දෙන්ඩ. එයාට ඕන එයා වරදක්‌ කළේ නෑ, සියදිවි හානිකර ගත්තෙත් නෑ, එයා මැරුවා කියල ලෝකයටම කියන්න. ඒත් එයා කිව්වා නීතියෙන් නම් මේකට සාධාරණයක්‌ වෙන්නෙ නෑ කියලා. උන් කරන බන්ධනවලින් අපි හතර දෙනාගෙන් එක්‌කෙනෙක්‌ට මොනව හරි වෙන්න පුළුවන් ආරක්‍ෂා වෙන්න කියලයි එයා කියන්නේ.

එතැනින් අපි ඔවුන්ට සමුදී මේ කතාවට විරාමයක්‌ තැබුවෙමු. එහෙත් අපට කියන්නට දෙයක්‌ තිබේ. ජීවත්වෙන කෙටි කාලයේදී මිනිසුන් මෙතරම් සැහැසි ලෙස හැසිරෙතැයි සිහිනෙන්වත් සිතන්නට නොහැකිය. මේ සියල්ල සිදුව ඇත්තේ මහා වස්‌තුවක්‌ ලබාගැනීමට නොව පුංචි නිවසක්‌ සහ පර්චස්‌ අටක ඉඩම් කැබැල්ලක්‌ ලබාගැනීමේ අරමුණින් වීමද කනගාටුවට කරුණකි. එවැනි මිනිසුන්ගේ සුළඟවත් නොවදින ලෙස සිතමින් අපි ඒ දරුවන්ගෙන් සමුගත්තේ ඔවුන්ට කිනම් හෝ උපකාරයක්‌ කිරීමේ චේතනාවෙනි. එයට ඔබත් එකඟ වේ නම් එස්‌. ඒ. ශීලා රංජනී නමින් අළුත්ගම ලංකා බැංකු ශාඛාවේ ඇති අංක 9053071 ගිණුමට යම් මුදලක්‌ බැර කරන ලෙසද අපි ඔබෙන් ඉල්ලමු.

තිස්‌ස ගුණතිලක
2012 ඔක්තෝබර් 14 ඉරිදා දිවයින

සූනියම් දේවතාවා වඳින ගාථාව 

 " සිවමස්තු නමෝ රාමා කන්දසේන සමාගමා 
වඩිගතන්ත්‍ර මනීඛන්ඪ ඔඩ්ඩි මංගල නමෝ නමං
අග්නි කන්දන්ච හස්තේන - හස්තේන වඩිග කර්ගතේ 
මුඛේන විෂ සර්පේන ශීර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමි නීලොං තුරඟ වාහනේ
සූනීයම් දේවතා නාම මයිහම් පාද තේ නමං"


"බබා අඬන්න එපා. මම මැරුණෙ නෑ. මම ඔයා ළඟ ඉන්නවා"

ඇය වැදගත්කමින් ද ධනයෙන් ද පොහොසත් පවුලක දියණියකි. පවුලේ එක ම දරුවා ඇය යි. පදිංචිය මිනුවන්ගොඩ ය. මව බැංකු නිලධාරිනියකි. පියා දැව සංස්ථාවේ නිලධාරියෙකි. ඇය සිය මෑණියන් ඇමතුවේ අම්මි කියා ය. ආච්චි අම්මා ඇමතුවේ “අම්මා” කියා ය. ළදරු වියේ සිට ම ඇය “අම්මාට වඩාත් සමීප වූවාය. ආච්චි අම්මා හෙවත් අම්මා පිටස්තර පුද්ගලයින්ට “චන්ද්‍රා මැඩම්” නම් වූවාය. චන්ද්‍රා මැඩම් ගේ මේ මිනිබිරිය අමානි නම් වූවාය.

චන්ද්‍රා මැඩම් පිනට දහමට නැඹුරු වූ උපාසිකාවකි, ඇය පන්සලට යන විට, බෝධි පූජාවට යන විට, අමානි ද නොවරදවා ම පසු පසින් ගියාය. වයස අවුරුදු හයේ හතේ දී වුව ද අම්මා සමඟ අමානි ද භාවනා කළාය. ළමා වියේ දී වුව ද ස්වාමීන් වහන්සේ නමක වෙතින් ධර්ම දේශනයකට සවන් දුන්නොත් එහි ඇති ගැටලු තැන් පිළිබඳ අමානි දහසක් ප්‍රශ්න නඟා දැනුම් තේරුම් ඇති කැර ගත්තා ය.
කොළඹ බාලිකා පාසලක මූලික අධ්‍යාපනය ලැබු අමානි සාමාන්‍ය පෙළ සඳහා උසස් බාලිකා විදුහලකට ඇතුළත් වූවාය. නිවාඩු කාලය ආධ්‍යාත්මික කටයුතුවලට ම කැප කළා ය කීවොත් නිවැරදිය. මුලදී අම්මාගේ පසුපසින් ආගමික කටයුතු වලට ගියත් දැන් අම්මාට සිදුව ඇත්තේ මිනිබිරිය පසුපසින් යෑමටය. සිකුරාදා සවස කොළඹ සිට ගමට පැමිණෙන අමානි ඉරිදා දවස වනතුරු ගත කළේ භාවනා මධ්‍යස්ථානවල ය. අමානි අලව්වේ කන්දක භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ජයසූරිය උතුමා සොයා ගෙන අම්මා සමඟ ගියාය. ඉන්දියාවේ සිට නුවරඑළියේ ගයත්‍රි කෝවිලට ස්වාමි මුරුගේසු නමැති යෝගියෙකු පැමිණ ඇති බව පුවත්පතකින් දුටු අමානි එහි ද ගියා ය. ස්වාමි මුරුගේසු භාවනා උපදෙස් දුන්නේ දෙමළ භාෂාවෙනි. අමානි දෙමළ දන්නේ නැත. එහෙත් ස්වාමිගේ දේශනය අමානිට වැටහුණාය. එය මනසින් මනසට සන්නිවේදනය වීමක් සේ ඇයට දැනුණි. ඇයට ගැටලු තැන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න කොට ස්වාමිගෙන් නිරාකරණය කැර ගත්තා ය. ස්වාමිගේ දේශනයට සවන් දෙන්නට පැමිණි වැඩිහිටි උගතුන්ට ස්වාමි උපදෙස් දුන්නේ “මේ දරුවා වගේ වෙන්න” කියා ය.
මේ ඔක්කොම අතහැර දා කැලේට යන්නට ඇත්නම් හොඳ යැයි ඇය නිතර මවුපියන් සමඟ කීවා ය. මේ අතර “චන්ද්‍රා මැඩම්” මිය ගියාය. අමානිගේ මාමලා කීපදෙනෙක් ම වෛද්‍යවරු බැවින් මේ හිතුවක්කාර (සිතූ දේ කරන) දැරිය ඔවුන්ට බලපෑම් කොට ආච්චි අම්මාගේ මිනිය බලන්නට මෝචරියට ද ගියා ය. පුදුමයි. ආච්චි අම්මාගේ මුහුණ රත්තරන් පාටින් දිලිසෙමින් තිබුණි. ඇය මැරී නැතැයි සිතූ අමානි ඇගේ දේහය අත ගා බැලුවා ය. තද සීතලක් හා තද දරදඬු ගතියක් අතට දැනුණු බැවින් ඇය මැරී ඇති බව පිළිගත්තාය. මිනිය කපන සැටි ද බලා සිටියාය.
තමන් ගේ තනි නොතනියට භාවනා මධ්‍යස්ථාන කරා ගිය, අම්මිගේ තරවටුවල දී තමන් වෙනුවෙන් පෙනී සිටි, තමන් ගේ සමීප ඥාතිවරිය, එක ම හිතවතිය, ආච්චි අම්මා හෙවත් අම්මා ගේ වියෝගයෙන් අමානි ඇගේ දේහය ළඟ පෙරැළි පෙරැළි ඇඬුවා ය.
asinpiyawi
රාත්‍රි නින්දේ දී ‘අම්මා’ හීනෙන් පෙනී සිටියාය. “බබා අඬන්න එපා. මම මැරුණෙ නෑ. මම ඔයා ළඟ ඉන්නවා. ඔයාගෙ ඕනෑම ප්‍රශ්නයක් මට කියන්න. මම විසඳනවා.” යැයි කියා ඇගේ හිස අත ගා අතුරුදන් වූවාය. අමානිට ඒ තරම් ප්‍රශ්න තිබුණේ නැත. තිබුණු එක ම ප්‍රශ්නය හිටි හැටියේ අම්මිගෙන් බැණුම් අහන්නට වීම ය. අමානි කාමරයට ගොස් “අම්මේ අම්මි මට බණිනවා” යි කී සැණින් අම්මිගේ බැනිල්ල නැවතුණි. අම්මි අමානි ළඟට ඇවිත් කුළුපග වූවාය.

දිනක් ධර්ම දේශනයකට සවන් දෙමින් සිටියදී අමානිට ත්‍රිලක්ෂණය පිළිබඳ අසන්නට ලැබුණි. එහි දී අනිත්‍යතාවය ගැන කියැවෙන විට හදවතේ සිට මොළය දක්වා විදුලි සැරයක් ගමන් කළා සේ ඇයට දැනුණි. සහෝදර සහෝදරියන් කිසිවෙක් නැති අමානි ගේ තනි නොතනිය ළඟ දැවටුණේ “ලකී” (බල්ලා) පමණි. ඌ හුරතල් කිරීමට හා වඩාගෙන සිටීමට පුරුදුව සිටි අමානි “මුන් මළ දාට දුක්වෙන්නට වේ” යැයි බලු හුරතලය ද අතහැර දැමුවාය.
මේ වන විට ලංකාවේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා විශ්ව විද්‍යාල වසා දමා තිබුණි. විසිතුන් හැවිරිදි අමානි උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියා‍ව බලා ගියාය. එහි දී ජීව වෛද්‍ය විද්‍යා පර්යේෂණ පිළිබඳ උපාධියක් ලැබුවාය. අධ්‍යාපනයට අමතරව රැකියාවක ද නිරත වූ ඇය ඕස්ට්‍රේලියාවෙන් ගෙයක් හා වාහනයක් ද මිල දී ගත්තා ය.
ඇය සංගීතයට හා කලාවට ද නැඹුරු චරිතයකි. මේ තාරුණ්‍යය තුළ ස්වභාවයක් වූ ප්‍රේම සම්බන්ධ එහෙම තිබුණේ නැද්දැයි මම ප්‍රශ්න කළෙමි. “තිබුණා. තිබුණා. මොකද නැත්තේ. ඒත් සතියකට දෙකකට වඩා පැවතුණේ නෑ. නිතර දුරකථනයෙන් කතා කරනවා. මේක මගේ භාවනා කටයුතුවලට බාධාවක් වුණා. කතා නොකළාම දහසක් ප්‍රශ්න අහනවා. මම උත්තර බඳින්න ඕනෑ. මේක නිදහසට බාධාවක්. මම අතහැර දැම්මා” යි විවෘතව ම පිළිතුරු ලැබුණි.
“2004 දී අධ්‍යාපනය අතහැර ලෝකෙ වටේ ගියා. බුරුමය - තායිලන්තය මැලේසියාව වගේ බෞද්ධ රටවල භාවනා මධ්‍යස්ථාන සොයා ගියා. අජාත් චා හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් ගත්තා. ඉන්දියාවේ දකුණේ සිට උතුරට ගමන් කළා. ආශ්‍රම්වලට ගියා. සිඩ්නි නුවර දී “ශාන්ති වන සෙනසුනේ” සතියක භාවනාවකට ඇතුළත් වුණා. සතිය සති දෙක වුණා. මාසයක් වුණා. මාස දෙකක් වුණා. ඒ කාලය තුළ පුදුම සතුටක්, සහනයක්, සැනසිලි සුවයක් වින්දා” යි අතීතය අනාවරණ්‍ය කැරුණි. ලෝකය වටා ගවේෂණය සංචාරය මාස හයකින් නිමා කොට ඇය යළිත් මෙල්බන් නුවරට ආවා ය.
මෙල්බර්න් නුවර දී මඩවල පුණ්ණජි හිමියන් මුණ ගැසී ධර්ම සාකච්ඡා පවත්වා ආධ්‍යාත්මික දියුණුවට ජීවිතය කැප කරන්නට ඉටා ගත්තාය. “මෙච්චර වියදම් කොට ඉගැන්නුවේ ඕකට දැයි මවුපිය දෙදෙනා දුරකථනයෙන් ප්‍රශ්න කරන විට “අම්මලා දකින්න කැමැති පීඩාවට පත් දුවක් ද? සතුටින් සැනසිල්ලෙන් ඉන්න දුවක් දැයි අමානි ප්‍රශ්න කළ විට මවුපියෝ නිහඬ වූහ.
අමානි නැවතත් බුරුමයට ගියාය. ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් සතියට එක් දවසක් සම්පූර්ණයෙන් “මුනි වත” රැකිය යුතුය. අමානි බුරුමයේ දී අටසිල් සමාදන් වී සම්පූර්ණ මාස තුනක් “මුනිවත” රැක්කා ය. දැන් අමානි සම්පූර්ණයෙන් හිස මුඩ කළ සුදු අඳින උපාසිකාවකි.
පැවිදිවීම සඳහා ලංකාවට එන්නට බලාපොරොත්තුව සිටි ඇය පුණ්ණජී හිමියන් ගේ උපදෙස් පරිදි හදිසියේ ම බුද්ධගයාවේ දී පැවිදි වූවා ය. දැන් ඇය මිනුවන්ගොඩ බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ ය. භික්ෂුණී කුසුමා, ගලිගමුවේ ඛේමාචාරි, දෙකඳුවල ධම්ම ශාන්ති මෙහෙණිවරු උපසම්පදාවට ආචාර්ය වූහ.
ඔස්ට්‍රේලියාවේ ඇගේ නිවස “නිසල අරණ” නමින් ශුන්‍යාගාරයක් බවට පත් කළාය. “නිසල අරණ” නමින් ම තවත් ප්‍රදේශයක භාවනා මධ්‍යස්ථානයක් ද පිහිටුවිය. වස් කාලයට ලංකාවට පැමිණීම සිරිතක් කොට ගත්හ.
මේ අතර ලංකාවට වැඩම කළ අවස්ථාවක උන්වහන්සේ ගේ ඥාතියෙකු සතු අක්කර පහක ඉඩමක් ඔහුගේ මෑණියන්ට පිං පිණිස උන් වහන්සේට පූජා කළේය. මෝල්කාවේ, කරව්ව ප්‍රදේශයේ නිහඬ පරිසරයක පිහිටි මේ ආරණ්‍යය ද “නිසල අරණ” යැයි නම් කරනු ලැබුණි.
මේ වන විට කරව්වේ නිසල අරණේ නේවාසිකව භාවනා කරන්නට උපාසිකාවෝ පැමිණෙන්නට වූහ. එහෙත් ඔවුන් අතර නිතර අඬදබර ආරාවුල් හටගන්නට විය. මේ පිරිස සමඟ ආධ්‍යාත්මීය කටයුතු කැර ගෙන යනවාට වඩා මෙහෙණින් වහන්සේට සිදු වූයේ නඩු විසඳන්නට ය. විශ්වාස කළ නොහැකි තරමින් අස්වාභාවික ලෙස ඇති වූ මේ අසමඟි ආරාවුල් පිළිබඳ මෙහෙණින් වහන්සේ දෙවරක් සිතා බැලූහ.
මේ අතර මිනුවන්ගොඩ කෙනෙකු තමන් ගේ පෞද්ගලික ප්‍රශ්නයකට පේනයක් අහන්නට දේවාලයකට ගියේ ය. එහි දී දේව ගැතියාට චන්ද්‍රා මැඩම් ආමිශ්ට වූවාය. “මම දැන් කතරගම බෝධීන් වහන්සේ ළඟ පත්තිනි දේව මණ්ඩලයේ දේවතාවියක් වී ඉන්නවා. අපේ ගෙදර අයට යම් ප්‍රශ්නයක් වූ විට මා සිහිපත් කරන්නැ” යි කියා පණිවුඩයක් දුන්නාය. ඒ මාර්ගයෙන් බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට ද මේ පණිවුඩය ලැබුණි.
මේ ආරණ්‍යයට එන උපාසිකාවන් අසමගියට ලක් වී නොරැඳී පිටව යෑම පිළිබඳ ප්‍රශ්නය බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ සිය “අම්මා” සිහිපත් කොට විසඳුමක් පැතූහ. දින කීපයක් ගත වන විට ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට යෑමට ද මඟ පෑදුණි.
බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ තවත් උපාසිකාවක් සමඟ ඒ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියහ. එහිදී වෙනත් කෙනෙකුට ප්‍රලය වූ භූතාත්මයක් කතා කරන්නට වූවාය.
“උඹලට ඕක කරගෙන යන්න මම ඉඩ දෙන්නේ නෑ” යි බොහෝ ම තද ස්වරයකින් ඒ භූතාත්මය කතා කළා ය.
“කාට ද උඹ බං කියලා කතා කරන්නෙ?” යි ඊටත් වඩා සැරෙන් මෙහෙණින් වහන්සේ ප්‍රශ්න කළහ.
“නෑ... නෑ.... මම එහෙම කතා කළේ ඔබ වහන්සේට නොවෙයි. අනිත් එවුන්ට.”
“ඇයි තමුන් එහෙම කරන්නෙ?”
“මගේ ඉඩමේ මට ඕනැ දෙයක් කරන්න පුළුවන්.”
“තමුන් කවුද?”
“මම සොපි නෝනා.”
“කවුද සොපි නෝනා කියන්නෙ? මම අඳුනන්නෙ නෑ”
“මම තමයි ඔය ඉඩමේ අයිතිකාරි.”
“මොන ඉඩමේ ද?”
“ඔය ආරණ්‍ය හදා ගෙන ඉන්න ඉඩම.”
“එහෙම වෙන්නෙ කොහොම ද? තමුන් මළාට පස්සෙ තමුන්ගෙ පුතාලා ඉඩම වෙන කෙනෙකුට විකුණලා. ඒ ගත්ත එක්කෙනත් තව කෙනෙකුට විකුණලා. එයත් විකුණලා. තුන් වැනි අයිතිකාරයා තමයි ඉඩම මට පූජා කළේ.”
“එහෙම පුළුවන් ද? මගේ ඉඩම කාටවත් විකුණන්න. ඔය ඉඩමෙ අයිතිකාරි මම.”
“මොකක්ද ඔය මම,මගේ කියන්නේ‍. සොපි නෝනා මළා නම් ඒ “මම” කියන එක්කෙනා ඉවරයි. “මම” මැරෙන කොට “මගේ” කමත් ඉවරයි.
“ඔය බණ මම දන්නේ නෑ. මගේ ඉඩමෙ කාටවත් ඉන්න දෙන්නෙ නෑ.”
“තමුන්ට මොනව ද කරන්න පුළුවන්.”
“මම තමයි ඔතනට එන අයව අසමගි කරලා පන්නන්නේ.”
“හැබෑ ද? වෙන මොනව ද පුළුවන්.”
“ඔය ඉඩමෙ කිසි ම ගහක කොළක මලක් පිපෙන්න දෙන්නෙ නෑ. ගෙඩියක් හැදෙන්න දෙන්නෙ නෑ. දැන් ඔබ වහන්සේත් ඇවිත් අවුරුදු තුන හතරක් වුණා. ඉඩමෙ තියෙන කොස්, පොල්, අඹ, රඹුටන්, ජම්බු, ගස්වල ගෙඩි හැදුණා ද? ගෙඩි කෑව ද? නෑ නේද?”
“ඔව් සොපි නෝනා කියන්නේ ඇත්ත තමයි. ඒ වුණාට ඉඩම අයිතියි කියලා සොපි නෝනත් සැපක් සතුටක් විඳිනව ද? නෑ නේද? සොපි නෝනා ඉඩම ගැන තණ්හාවෙන් ඔය ඉපදිලා ඉන්නේ ප්‍රේත ආත්මයක. ලෝභයෙන් ද්වේෂයෙන් දැවි දැවී දුක් විඳිනවා. ඉඩම් හිමිකාරියක් වෙලා ඉඳලා දැන් ප්‍රේතියක් වෙලා ඉපදිලා දුක් විඳින්න ලැජ්ජා නැද්ද?” සොපි නෝනාට පුළුවන්නම් ඔය තරම් හැකියාවක් තියෙනවා නම් මට ඔය ඉඩමේ මලක් පුප්පලා පෙන්නන්න. ඇත්තටම මමත් මලක් දැක්කෙ නෑ තමයි. අර ළිඳට යන පාරෙ තියෙන සූරියකාන්ත පඳුරෙ මලක් පුප්පලා පෙන්නන්න. පෙන්නුවොත් සොපි නෝනා ඔය දුක් විඳින තත්ත්වයෙන් මුදවනවා. හොඳ තැනකට යවනවා.”
“ඒ... ඔය ඇත්තම ද? ඒ කොහොම ද?”
“සොපි නෝනා නමින් දානයක් දීලා පින් අනුමෝදන් කරනවා.”
“හාමුදුරු දහනමකට අටපිරිකරක් එක්ක.”
“ඔව්”
“හොඳයි. ඔබ වහන්සෙ අනිද්දා ආරණ්‍යයට යන කොට බලන්න. මෙච්චර කල් මල් නොපිපුණු පඳුරෙ මලක් පිපිලා නැද්ද? කියලා.”
“හරි. අපි හාමුදුරුවරු වඩම්මලා දානයක් දෙනවා ඔය කියපු හැටියට. ඒත් අපි කොහොම ද සොපි නෝනා ඉඩම අතහැරලා යනවා කියලා විශ්වාස කරන්නෙ? මොකක්ද යන බවට සලකුණ?”
“මෙහෙණින් වහන්ස! මම බොරු කියන්නෙ නෑ. මම මේ විඳින දුකෙන් මුදවනවා නම් දානෙට සූදානම් වෙනකොට. ඔය ළිඳට යන පාරෙ තියෙන පිනි ජම්බු ගහේ දැනට අවුරුදු විසි පහක් තිහක් තිස්සේ එක මලක් එක ගෙඩියක් පිපුණා ද? නැහැනෙ. දානෙ දෙන දවසෙ හවසට ගිහින් බලන්න පාරට නැමුණෙ අත්තෙ එක මලක් නොවෙයි මල් පොකුරක්ම නැද්ද කියලා. මම ඉඩමෙන් පිටවෙලා කතරගමට යනවා.”
බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ පොරොන්දු පරිදි සාංඝික දානයක් පිරිනැමූහ. ඊට පසු දින උදේ සොපි නෝනාගේ පොරොන්දුව මතක් වී එය බලන්නට ගියහ. ඇත්තට ම මෙතෙක් මලක් ගෙඩියක් නොහැදුණු පිනි ජම්බු ගසේ පහත ම අත්තේ මල් පොකුරක් සෑදී තිබුණි.
දැන් ආරාමයේ කටයුතු හොඳින් සිදු වේ. උපාසිකාවෝ සමගියෙන් භාවනා කරති. තවත් මෙහෙණින් වහන්සේලා පැවිදි වී සිටිති. දායකයන් විසින් අලුතින් භාවනා කුටි ඉදිකරමින් පවතී.
අමනුෂ්‍යයෙකුට ස්වකීය ශක්තියෙන් අජිවී ගසක මලක් පුබුදන්නට පුළුවන්දැයි ඔබ සිතනු ඇත. මම ද ඔබ මෙන් ම සිතමි. ඇයි? බැරි ද? එතැනයි ගැටලුව. සිතට භෞතික ශක්තීන් මෙහෙයවන්නට බැරි ද?
(තොරතුරු ලබා දීමට ක්‍රියාකළ ප්‍රවීණ මාධ්‍යවේදී දෙනගම සිරිවර්දන මහතාට ස්තුතිය.)